Thursday, December 7, 2017

IAC Valve (Idle Air Control Valve)

ගිය සිකුරාදා හවස මට කෝල් එකක් ආව ගයාන් අය්යගෙන්. එයාගෙ කාර් එක emission test එක ෆේල් වෙලා. අපේ අවුරුදු 27ක් පරණ කාර් එක කිසිම ප්‍රශ්නයක් නැතුව පාස් වෙද්දි එයාගෙ අවුරුදු 3ක් වයස කාර් එක ෆේල් වුනේ කොහොමද කියන එක අපිට හරි ප්‍රශ්නයක්. එයාට කිව්ව සෙනසුරාදා උදේ වෙද්දි CarCorp එකට වාහනේ ගේන්න කියල.

රිපෝට් එකේ විදිහට දුමේ හයිඩ්‍රොකාබන් වැඩියි. මොනාද මේ හයිඩ්‍රොකාබන් කියන්නෙ? හයිඩ්‍රොකාබන් කියන්නෙ හයිඩ්‍රජන් සහ කාබන් වලින් පමණක් හැදුනු ඕනෑම සංයෝගයක්. එතකොට වාහනේ දුමට කොහොමද හයිඩ්‍රොකාබන් ආවෙ? අපි වාහන වලට ගහන ඉන්ධන ඔක්කොම වගේ හයිඩ්‍රොකාබන්. පෙට්‍රල්, ඩිසල්, භූමිතෙල්, ගෑස්, ගල් අඟුරු මේ ඔක්කොම හයිඩ්‍රොකාබන්. වාහනයක එන්ජිමේ ශක්තිය නිපදවෙන්නෙ මෙන්න මේ හයිඩ්‍රොකාබන් වාතයේ තියන ඔක්සිජන් එක්ක දහනය කරල. එහෙනම් ගයාන් අය්යගේ කාර් එකේ එන්ජිම ඇතුලට ගන්න පෙට්‍රල් වලින් කොටසක් දහනය කරන්නෙ නැතුව කෙලින්ම එලියට දානව වෙන්න ඕනි. ඇයි මෙහෙම වෙන්නෙ? මේක වෙන්න තාක්ෂණික හේතු ගොඩාක් තිබුනට රසායනිකව බැලුවොත් තියෙන්න පුළුවන් එක හේතුවයි. එන්ජිමට ලැබෙන පෙට්‍රල් වලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබීම තමයි ඒ හේතුව.

මම කලින් කිව්වනෙ මේකට තාක්ෂණික හේතු ගොඩක් තියෙන්න පුළුවන් කියල. එත් රිපෝට් එකේ විදිහට මේ ප්‍රශ්නේ තියෙන්නෙ ලැසි දිවුමේදී නැත්නම් සිංහලෙන් කිව්වොත් අයිඩ්ල්  එකේදී විතරයි. ඔන්න අපිට පොටක් අහුවුණා. වාහනේ අලුත් නිසාත්, මේ වෙනකල් ඉහිං බහින ලෙඩක් තිබ්බෙ නැති නිසාත් මම හිතුව ටක්කෙටම IAC Valve එකේ තමා ලෙඩේ ඇත්තෙ කියල.

IAC Valve එකේ මුලකුරු වලින් කියන්නෙ Idle Air Control කියන එක. නමේ තියන විදිහටම මෙයා කරන්නෙ අයිඩ්ල් එකේදී එහෙමත් නැත්නම් ඇක්සලරේටර් එක පාගල නැති වෙලාවට එන්ජිමට ඇදල ගන්න වායු ප්‍රමාණය පාලනය කරන එක. මේක මම දැකල තියෙන්නෙ පෙට්‍රල්  Injection තියන වාහනවල විතරයි.  IAC Valve එක ගැන කතාකරන්න  කලින් අපි බලමු ඇක්සලරේටර් එක පාගද්දි මොකද වෙන්නෙ කියල. ගොඩක් වාහනවල ඇක්සලරේටර් එක කෙලින්ම සම්බන්ධ වෙන්නෙ කපාටයකට (Valve එකකට) අපි පැඩල් එක පාගද්දි මේ කපාටය ඇරෙන එක තමයි වෙන්නෙ. පැඩල් එකෙන් කකුල ගත්තම ස්ප්‍රින් එකකින් මේ කපාටය ආපහු වහනව. මේ කපාටය හරහා තමයි එන්ජිමට ඕනකරන වාතය ඇදල ගන්නෙ. කපාටය ඇරිල තියන ප්‍රමාණයට සමානුපාතිකව ඇදල ගන්න වායු ප්‍රමාණයත් වෙනස් වෙනව. මෙන්න මේ වායු ප්‍රමාණයට ගැලපෙන පෙට්‍රල් ප්‍රමාණයක් ඒ වායු ධාරාවට එකතු කරන එක තමයි කාර්බ් එකෙන් හරි ඉන්ජෙක්ටර් වලින් හරි කරන්නෙ. දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ. වායු ප්‍රමාණය පාලනය කරන්න කපාටෙකුත් තියනවනම් පෙට්‍රල් පාලනය කරන්න ක්‍රමයකුත් තියනවනම් තව IAC Valve එකක් මොකටද?

මේකට හේතු තමයි ඇක්සලරේටර් එකෙන් පාලනය වෙන ප්‍රධාන කපාටය සංවේදී මදිකම සහ ඒක ECU (Engine Control Unit) එකට ඕනි විදිහට පාලනය කල නොහැකි වීම. අයිඩ්ල් එකේදී ප්‍රධාන කපාටය සම්පූර්ණයෙන්ම වගේ වැහිලයි තියෙන්නෙ. මෙන්න මේ වෙලාවට එන්ජිමට ගන්න වායු ප්‍රමාණය සම්පූර්ණයෙන්ම වගේ ගන්නෙ IAC Valve එක හරහා. ඒක පාලනය වෙන්නෙ ECU එකට ඕනි විදිහට. අපි AC දැම්මොත් එහෙම එන්ජින් ලෝඩ් එක වැඩිවෙන නිසා RPM එක අඩු වෙනවනෙ. ඒ වෙලාවට ECU එකෙන් IAC Valve එක ටිකක් වැඩිපුර ඇරල RPM එක හරි ගානට ගන්නව. ඒ කියන්නෙ IAC Valve එකේ සරල ප්‍රයෝජනේ තමයි ECU එකට ඕනි විදිහට එන්ජින් RPM එක සියුම්ව සීරුමාරු කිරීම.

මම උදේ නැගිටල අපේ බලු තඩියට ඔන්න ඔහොම IAC Valve එක ගැන කියල දීල ඉවරවෙනකොටම ගයාන් අය්ය ආව. ත්රොට්ල් බොඩිය ගලවල බලනකොට හිතුව හරි. වෑල් එක දරුණුවට බ්ලොක් වෙලා. ඒක ක්ලීන් කරල කෝකටත් කියල පොඩි පහේ ටියුන් අප් එකකුත් කරල දීල එන්ජිමත් පොඩ්ඩක් සර්විස් කරල දීල එයාව පිටත් කලා. ආපහු ටෙස්ට් එක කලාම අත උඩින් පාස් වෙලා.

වාහනේ අලුත්ද පරණද කියන එක අදාල නෑ. මේ වගෙ පොඩි දේවල් නිතර හොයල බලල කරනවනම් වාහනේටත් හොඳයි නඩත්තු වියදමුත් අඩුයි. පෙට්‍රල් නාස්තිය අඩු නිසා සාක්කුවට වගේම පරිසරයටත් හොඳයි.

Car Corp
From pertolheads, to petrolheads

No comments:

Post a Comment